Kadawara Yahana - විෂ්ණු දෙවියන්

විෂ්ණු දෙවියන්

විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු වඩාත්ම සැලකිය යුතු දේවතාවන්ගෙන් කෙනෙකි.ඔහු වෛශ්ණවවාදය අනුව ශ්රේෂ්ඨත්ම් දෙවියන් Svayam Bhagavan ( හින්දු ආගමේ ප්‍රධාන නිකායන් එක් ) වේ. ඔහු නාරායන හා හරි ලෙස ද හැඳින්වේ.මෙම ස්මාර්ත සම්ප්‍රදාය තුළ දෙවියන් වහන්සේගේ මූලික ආකාර පහ අතරින් එකක් ලෙස, ඔහු " ආරක්ෂකයාණන් හෝ ආරක්ෂකයා " ලෙස තේරුම් ඇත. හින්දු පූජනීය පෙළට , විෂ්ණු සාමාන්යයෙන් ජලය පිරවූ වලාකුළු අඳුරු ස්වරූපයක් සහිත හා අත් හතරක් සහිත ලෙස අයෙකු විස්තර කෙරේ. සුදුමැලි නිල් ද ලෙස විස්තර කර ඇත .

විෂ්ණු දෙවියන් හින්දු දෙවියෙකි. නිල් පැහැති සමක් හා අත් සතරක් ඇත​. රථය ගරුඬා ය​. පංචජන්‍ය නම් ශංඛය, සුදර්ශන් චක්‍රායුධය, යගදාව හා නෙලුම් මල අත් සතරින් දරයි. මහානුභාව සම්පන්න මැණිකක් වන කෞස්තුභ මාණික්‍ය ගෙල පැලඳ සිටී.පපුවේ ශ්‍රී වත්ස නම් කෙස් රොදක් වෙයි. පතිනිය වන ලක්ෂ්මී දේවිය උරයේ වාසය කරයි

සිරිලක බොහෝ පන්සල්වල විෂ්ණු දේවාල පවත්වාගෙන යති. බෞද්ධයන් විෂ්ණු දෙවියන් සලකන්නේ බෞද්ධ දේවාත්මයක්‌ සේය. ඇතැම් දේව කන්නලව්වලදී මතු බුදුවන විෂ්ණු දේවෝත්තමයාණන් වහන්සේ යනුවෙන් කියෑවේ. දේශය රකින සතර වරම් දෙවිවරු අතර ප්‍රමුඛයා ද විෂ්ණුය. (අන් දෙවිවරු - කතරගම, සමන්, හා පත්තිනිය) ලොව පුරා බලය පතුරුවාගෙන දේව උපත සිදුවන්නේ භාරතයේය. බ්‍රහ්ම, විෂ්ණු, ඊශ්වර (ශිව) යන ත්‍රී මූර්තියෙන් වඩාත් බලවත් විෂ්ණු දෙවියන් පිළිබඳ අල්ප මාත්‍ර වූ තොරතුරු ස්‌වල්පයකි මේ.

විෂ්ණු දෙවියන් පිළිබඳ පැරණිම මතය

හින්දු ත්‍රී මූර්තියේ පළමුවන දෙවියා මහා බ්‍රහ්මයාය. (මහබඹු) දෙවැන්නා ශ්‍රී විෂ්ණු දෙවියන් ය. සෘග්වේදයට අනුව විෂ්ණු යනු සුරිය දේව ගනයට අයත් දෙවිකෙනෙකි. සෘග්වේදයට අනුව රශ්මිය විහිදුවා අහසෙහි බබළමින් ගමන් කරන හිරු සේ සැලකූ විෂ්ණු, ලෝක ධාතුවේ සප්ත ප්‍රදේශයන් හි එකවර තැන් තුනකින් ගමන් කරන බවත් තම රශ්මි ජාලයෙන් ලොව ආවරණය කරන බවත් කියෑවේ.

මින් අදහස්‌ කරන්නේ, ආලෝකයත්, ගින්නත්, සූරිය මණ්‌ඩලයත් යන ත්‍රිවිධ ලක්‍ෂණයි. හිරු උදාව, හිරු මුදුන්වීම, හිරු බැසයැම පිළිබඳ සිද්ධාන්ත මීට අයත් වේ.

පසුකාලීනව විද්වතුන්ගේ පහළවීමත් සමඟ සූර්යයා ග්‍රහලොවක්‌ සේ හඳුනාගත් පසු විෂ්ණු පිළිබඳ මුල් මතය වෙනස්‌ විය. මෙහිදී නිල්වන් අහස්‌ කුසට අධිපති ලෙස ''ඉන්ද්‍ර'' දෙවියන් පිළිගැනීම ඇරඹිණි.

භාරතයේ විෂ්ණුට හිමිතැන

විෂ්ණු යනු ඉන්ද්‍රගේ දෙවැනියා වන ''උපේන්ද්‍ර'' ලෙසට මතයක්‌ බිහිවිය. මහා භාරතයේ සාහිත්‍යය පිබිදීමත් සමඟ විෂ්ණු යළිත් හින්දු ත්‍රී මූර්තියේ බලසම්පන්නයාගේ තැනට පත්විය. එකල බිහිවූ විෂ්ණු, නාරදිය, භාගවත, ගරු`ඩ, පද්ම, වරාහ යන ග්‍රන්ථවල දේව ත්‍රී මූර්තියේ අන් දෙවියන් දෙදෙනාටම වඩා (මහා බ්‍රහ්මයා සහ ඊශ්වර දෙවියන්) ප්‍රමුඛ ස්‌ථානයක්‌ විෂ්ණු දෙවියන්ට ලබා දුන්නේය.

ලෝකය මැවීමේදී විෂ්ණු දිව්‍යරාජයා ''නාරායන වේශයෙන්'' ජලය මත සැතපී සිටි අවස්‌ථාවේ තම පෙකනියෙන් මතු වූ නෙළුම් මලක මුදුනේ මහ බඹු පහළ වූ බව බ්‍රාහ්මණයන්ගේ ග්‍රන්ථවල සඳහන් වේ. මෙයින් අදහස්‌ වන්නේ ලෝකය මැවීමටත් විෂ්ණු දෙවියන් මුල් වී ඇති බවය. සියලු දෙවිවරුන්ට වඩා කරුණාවන්ත, ආදර සම්පන්න, මෘදු මොළොක්‌ ගුණයෙන් යුතු බැතිමතුන් කෙරෙහි අනුකම්පා සහගත වූත් දිව්‍යරාජයා විෂ්ණු බව හින්දූන් බහුතරයකගේ මතයයි.

දේව ත්‍රී මූර්තියේදී විෂ්ණු දෙවියන් සලකනු ලබන්නේ ලෝකයේ පැවැත්ම, ආරක්‌ෂාව හා ස්‌වස්‌තිතිය භාර දෙවියා ලෙසය. මිනිස්‌ වර්ගයාගේ හා දෙවියන්ගේ ආරක්‌ෂාවටත් අභිවෘද්ධියටත් හිතෛෂීවන්ත වූ දෙවියන් විෂ්ණුය. සතුරන් කෙරෙහි පවා විෂ්ණු දෙවිරජ විනාශකාරී දරුණු ප්‍රතිපත්ති අනුගමනය නොකරන බවත් හින්දූන් විශ්වාස කරති. සතුරකු පරාජය වූ පසු සතුරා සමූලඝාතනය නොකර සතුරාට සමාව දීම විෂ්ණුගේ සිරිතයි. මහ බඹු ලෝකය මවන ලද මුත් ලෝකයේ පැවැත්ම හා ආරක්‌ෂාව සලසන්නේ විෂ්ණු බව පිළිගැනීම නිසා මිනිසුන් ද තම විපත් හා ආපදාවලදී මහ බඹුන්ට ඊශ්වර දෙවියන්ටත් වඩා තම ආරක්‌ෂාව පතා පුද පූජා පවත්වන්නේ විෂ්ණු දෙවියන්ටය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

* විෂ්ණු පිළිබඳ ''භගවත් පුරාණයේ'' සඳහන් කතාවක්‌

සරස්‌වතී ගඟබඩ රැස්‌වූ සෘෂීන් වහන්සේලා පිරිසක්‌ අතර දිනක්‌ පැනයක්‌ මතුවිය. ඒ බ්‍රහ්ම, විෂ්ණු , ඊශ්වර දේව ත්‍රී මූර්තිය අතරින් වඩාත් උත්තම, සාධාරණ, යුක්‌තිසහගත දෙවියන් කවුද යන ගැටලුවයි. මේ පිළිබඳ වාද විවාද කොතෙකුත් සිදුකළත් එම වාදවලින් තීරණයකට බැසීමට අපොහොසත් වූ සෘෂිවරුන් එහි ඇත්ත නැත්ත අපක්‌ෂපාතීව සොයාබලන ලෙස මහා බ්‍රහ්මයාගේ පුත්‍රයා වූ ''භෘගු නම් සෘෂිවරයාට'' නියෝග කළහ.

පළමුව බඹ ලොවට පිවිසි භෘගු මහ බඹුට (තම පියාට) නිසි ගරු සැලකිලි නොදක්‌වා ආචාර සමාචාර නොකොට රාජ සභාවට ඇතුළු විය. මෙය දුටු මහා බ්‍රහ්මයා තමාට නිසි ගෞරව ආචාර නොකර පැමිණීම පිළිබඳව කෝප වූ නමුත් ඒ තම පුත්‍රයා බව දැන කෝපය සංසිඳුවා ගත්තේය. එහෙත් ගරු සැලකිලි නොදක්‌වා රාජ සභාවට ඇතුල්වීම පිළිබඳව මහ බඹු භෘගුට තරවටු කළේය. භෘගු තම පියාගෙන් ඊට සමාව අයෑද ඉන් පිටවී ගියේය.

භෘගු ඊළඟට ගියේ ඊශ්වරගේ වාස භවන වෙතය. මෙහිදී පෙරටත් වඩා ගරු සැලකිලි ආචාර සමාචාර දැක්‌වීම නොකළ භෘගු සහෝදරයකු මෙන් වැළඳගන්නට ඊශ්වර ඉදිරියට පැමිණියේය. භෘගු ඊට ඉඩ දීම මග හැරියේය. භෘගුගේ අහංකාරකම පිළිබඳව දැඩි ලෙස කෝපයට පත්වූ ඊශ්වර තම ත්‍රීශූලය ගෙන භෘගු මරා දැමීමට තැත් කළේය. එහෙත් පාර්වතී දේවිය වහා ඉදිරියට පැමිණ ඊශ්වරගේ දෙපාමුල වැටී භෘගුට සමාව දෙන ඉල්ලා සිටියාය. මේ අතර භෘගු එතැනින්ද පිටව ගියේය.

ඊළඟට භෘගූ විෂ්ණු දේව වාසභවනය වන වෛකුණ්‌ඨිකය බලා ගියේය. භෘගු එහි යන විට විෂ්ණු දෙවියන් ලක්‍ෂමියගේ උකුලේ සැතපී සිටියේය. විෂ්ණුගේ නිරහංකාරකම ගැන දැන සිටි භෘගු විෂ්ණුගේ සැතපෙන මාළිගය තුළටම ගොස්‌ විෂ්ණුට පා පහරක්‌ ගැසීය. පා පහර ලත් විෂ්ණු වහා නින්දෙන් අවදිව භෘගු කෙරෙහි කෝප වෙනවා වෙනුවට තමා නින්දෙන් අවදිකරවීම ගැන ප්‍රශංසා කරමින් එම පා පහර නිසා භෘගුගේ පාදයට යම් වේදනාවක්‌ දැනුනේ නම් ඊට සමාවෙන ලෙසත් ඉල්ලා සිටියේය. එලෙස ඉල්ලා සිටි විෂ්ණු '' පින්වත් සෘෂිවරයාණනි මෙහි පැමිණ මදක්‌ ඉඳගනු මැනවි, මා විසින් ඔබට ආගන්තුක සත්කාර නොකළ වරදට සමාවුව මැනවි ඒ නිසා මා ඔබෙන් මෘදු පා පහරක්‌ ලද්දෙමි ස්‌වාමීනි ඔබගේ පාපනාශක පාද ලාංජනය මාගේ ළමැද මත පිහිටුවීම නිසා මා මහත් ගෞරවයට පාත්‍රවූයෙමි'' යෑයි ප්‍රකාශ කළේය.භෘගු විෂ්ණුගේ මෙම පිළිගැනීමෙන් මහත් විශ්මයට පත්විය. විෂ්ණුගේ නිරහංකාරකම නිසා හටගත් භක්‌ත්‍යාදරයෙන් දෙනෙත් කඳුළින් පුරවාගෙන බලා සිටියේය. විෂ්ණු දෙස තවත් මොහොතක්‌ ඇස්‌පිය නොහෙළා බලාසිටි භෘගු එතැනින් පිටවී ගියේය.

සුළු මොහොතකින් සරස්‌වතී ගඟබඩ රැස්‌ව සිටි සෘෂිවරුන් වෙත පැමිණි භෘගු තමා ආගිය තැන් හා තොරතුරු සියල්ල ඔවුන්ට දන්වා සිටියේය. විශ්මයෙන් තොරතුරු අසා සිටි සෘෂිවරුන්ගේ සැකය දුරුවිය. විෂ්ණු දෙවියන් අන් සියලුම දෙවියන්ට වඩා ශේ්‍රෂ්ඨ සහ කරුණාවන්ත බවත් මෙතැන් පටන් සෘෂිවරුන් අතරේ පවා පිළිගැනීම ඇති විය.දේව ත්‍රී මූර්තිය අතරින් ඉවසනසුලු, කීර්ති ප්‍රසංසා ගරු නම්බු බලාපොරොත්තු නොවන නිහතමානී එකම දෙවියා විෂ්ණු බව ඔප්පු විය. මේ බව මනුෂ්‍යයන් වන අප හොඳින් වටහාගත යුතු කරුණක්‌ බව ද අවධාරණය කරමු.

විෂ්ණු අවතාර


හින්දු ආගමේ සඳහන් අවතාර සංකල්පය බොහෝ අවස්ථාවලදී ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් අතරින් ලෝක ආරක්ෂක විෂ්ණු දෙවියන් හා බැඳී පවතී. (මෙහිදී අවතාර යනු දෙවියන් මනුලොව පහල වීමයි) විෂ්ණු දෙවියන් අවතාර දරණුයේ ලෝකයේ යහපත ආරක්ෂා කිරීමටත් නපුරට එරෙහිව සටන් කිරීමටත් සහ ධර්මය ස්ථාපිත කිරීමත් උදෙසායි.

දශඅවතාර


භගවත පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශඅවතාර) එතුමන්ගේ පූර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ පුරාණය සහ භගවත පුරාණය යන ග්‍රන්ථ වල දක්වා ඇත. පංචරාත්‍ර නම් ග්‍රන්ථයේ අවතාර තිස් නවයක් ගැන දක්වා ඇත. මෙම ප්‍රධාන අවතාර දහය දශඅවතාර ලෙස හඳුන්වයි.

 

විෂ්ණු දෙවියන්ගේ දශඅවතාර 

මත්ස්‍ය     

 

අර්ධ මත්ස්‍ය අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වේ. ඔහු මහා ජලගැල්මකින් ලෝකය බේරා ගන්නා ලදි. එහිදී මනු රජු සහ අනෙකුත් සියළු ජීවීන් බේරා ගන්නා ලදි.  

 
කුර්ම      

මේ අවතාරය කැස්බෑවෙකි. දෙවියන් සහ අසුරයින් එක්ව අමෘතය සොයා කිරි මුහුද කැළඹවීමේ කාරණයේදී උපකාර කරන ලදි.

 
වරහා               

මෙම අවතාරය ඌරෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර හිරණ්‍යාක්ෂ අසුරයාගෙන් පෘතුවිය බේරා ගන්නා ලදි.    


නරසිම්හ       

අර්ධ සිංහ අර්ධ මිනිස් ස්වරූපයකින් යුක්ත වන අතර ඔහු ප්‍රහලාද අසුර කුමාරයාව බේරා ගන්නා ලදි.  

 
වාමන             

මෙම අවතාරය අඟුටුමිට්ටෙකුගේ ස්වරූපයෙන් යුක්ත වන අතර ඔහු අසුර රාජ බලී ගෙන් විශ්වය බේරා ගන්නා ලදි.  

 
පරශුරාම     

 පොරවක් අතින් දරා ගත් සෘෂිවරයෙකුගේ ස්වරූපක් දරන අතර ක්ෂත්‍රීයන්ගේ අධර්මිශ්ඨ කම් වලට දඬුවම් කරන ලදි.

    
රාම                 

දුනු හී රැගත් පුරුෂයෙකුගේ ස්වරූපයකින් යුක්තයි. රාවණගෙන් සීතාව බේරාගන්නා ලදි.    


ක්‍රිෂ්ණ             

අසුර රජ කන්සා සහ ඔහුගේ අසුරයින් විනාශ කොට අහිංසක මිනිසුන් ආරක්ෂා කරන ලදි.    


බුද්ධ                    

මෙම අවතාරය යම් තැනෙක ගෞතම බුදුන් බවද තවත් තැනෙක බලරාම බවත් සහ තවත් තැනෙක සෘෂභනාථ ලෙසද දක්වා ඇත. 

   
කල්කි             

මේ අවතාරය සුදු අශ්වයෙකු පිට යන මිනිස් ස්වරූපයක් ලෙස දක්වා ඇත. කලි යුගය අවසානයේ පහල වන බව දක්වා ඇත.    

වෛෂ්ණව දර්ශනය සංක්ෂිප්තව

ශ්‍රී ක්‍රිෂ්ණා අවතාරය
වෛෂ්ණව දර්ශනයේ මූලික හරය වන්නේ හිංසාව, අයුක්තිය,අධර්මය, අවනීතිය,අසාධාරණය,ආත්මාර්ථකාමීත්වය හා අසමානාත්මතාවය යන අධර්මයන් පරාජය කොට, අහිංසාව, යුක්තිය,ධර්මය,නීතිය,සාධාරණත්වය,පරාර්ථකාමීත්වය හා සමානාත්මතාවය යන ප්‍රකාශ කර ඇත.

භගවත් ගීතාව ශ්‍රී ක්‍රිෂ්ණා මෙසේ පවසයි. "යදා යදා හි ධර්මස්‍ය -ග්ලානිර් භවති භාරත.. අභ්යුත්ථානම'ධර්මස්‍ය -තදා'තමානම් ඍජාමයහම්. පරිත්‍රාණාය සාධූනාම් -විනාශාය ච දුශ්කෘතාම්.. ධර්ම සංස්ථාපනාර්ථාය - සම්භවාමි යුගේ යුගේ...." අර්ජුන, යම් කාලයකදී ධර්මයේ පිරිහීයාමත්, අධර්මයේ නැගිටීමත් සිදුවේද, එකල්හී මම ආත්ම ස්වරූපයෙන් නැඟී සිටිමි.(මාගේ ස්වරූපය දක්වමි.) යහපත් මිනිසුන් ආරක්ෂා කිරීමටත්, අධර්මිෂ්ඨයන් හා එම ක්‍රියාවන් නැසීමටත්, ධර්මය ස්ථාපිත කිරීම සඳහාත්, මම යුගයක් යුගයක් පාසා මනුලොවට පැමිණෙන්නෙමි..

 

විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්

විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබේ. වෛශ්ණව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායන කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් පැන නගින නෙළුම් මලක් මත මහා බ්‍රහ්මයා වැඩ සිටින අයුරු.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.

  • අක්සුඨ
  • උපේන්ද්‍ර ( තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා )
  • අනන්ත (සදාතනික)
  • දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)
  • ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාටයෙදෙන නමකි)
  • හරි (පාපයෙන් මුක්ත කරන්නා යන්නයි)
  • හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)
  • ජගන්නාථ (විශ්වය/ ලෝකයේ පාලකයා/ අයිතිකරු)
  • ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)
  • කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6, 23)
  • ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)
  • මාධව (වසන්තප සමයට සම්බන්ධ)
  • මධුසූධන(මධු නම් රාක්ෂයා විනාස කල තැනැත්තා)
  • නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා / ජලයේ වැතිර සිටින්නා ලෝකයේ සෙවණ)
  • පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව කියවේ)
  • පෙරුමාල් - (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)
  • පුරුෂෝත්තම - (අති උතුම්සදාතනික ජීවය)
  • රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)
  • ඍෂිකේෂ් - (හදවතේ දෙවියන්)
  • සත්‍යනාරායන - (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)
  • ශ්‍රීධර- (ශ්‍රී ලක්ෂ්මි දේවිය (ධනයට අධිපති) ගේ ස්වාමියා )
  • සිද්ධාර්ථ - (බුදුරජාණන්වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සමහර හින්දු භක්තිකයන් සලකති)
  • ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) - ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන් ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.
  • ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ. තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)
  • ත්‍රිවික්‍රම - තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා (වාමන අවතාරය ලෙස)
  • විශාල් - (අති උතුම්, නැවැත්විය නොහැකි )
  • වාමන - (ඉතා කුඩා හෝ මිටි ස්වරූපය)
  • වාසුදේව - (සියල්ලටම අධිපති දෙවි

විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය

විෂ්ණු සියලූ ආකාරයේ දේවත්වයක් සාදනු ලබන අතර පුරුෂ පරමාත්මා (උත්තරිතරම ආත්මය) අන්තරයාම් (අධයාත්මිකව නිවසනව) සහ සියලූ ආත්මයන් ඇතුලත් සිෂින් (සාකල්‍යය) ලෙස හදුන්වයි. ඔහු භගවත් හෝ භගවත් වන අතර එහි සංස්කෘතික තේරුම භාග්‍ය අයත් කර ගන්නා බවයි. (දිව්‍යමය තේජය) විෂ්ණු දෙවියන් සතු එවැනි දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,

  • සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.
  • ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය.
  • කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කිරිමේ ඇති ශක්තිය.
  • ඔහුගේ කැමැත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව.
  • විර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක‍්‍රම මගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ අල්ලා ගැනිමේ බලය.
  • තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක ශක්තිය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව.

උපුටා ගන්නා ලද්දේ ස්වාමි තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලේ විෂ්ණුගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණුට වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. රිග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.

විෂ්ණු හා උපුල්වන් එකම දෙවි කෙනෙක්‌ද?

බෞද්ධ ඉතිහාසයේ උගන්වන පරිදි බුදුන් වහන්සේ පිරිනිවන් මඤaචකයේදී ශක්‍ර දේවේන්ද්‍රයාණන්ට කතා කොට අනාගත බුදුසසුන සුරකින ලංකාද්වීපය හා සිංහල ජාතිය ආරක්‌ෂා කරන ලෙස නියෝග කළ සේක. ශක්‍රයා විසින් එම වගකීම පවරන ලද්දේ ''විෂ්ණු දෙවියන්'' වෙතය. උපුල්වන් දෙවියන්ගේත් විෂ්ණු දෙවියන්ගේත් දෙදෙනාම ශරීර වර්ණයන් එක සමානය. මේ නිසා මේ දෙදෙනාම එක්‌ අයකු බව සිතාගෙන මහනුවර රාජධානි කාලයේ පටන්ම සිරිලක බුදු ගෙවල්වල පවා විෂ්ණු දේව රූපය සාදා පුද පූජා පවත්වමින් එන බව දක්‌නට ලැබේ. සිරිලක විද්වතුන් උපුල්වන් හා විෂ්ණු යනු දෙවිවරුන් දෙදෙනෙකු බව සිය පොතපතෙහි දක්‌වා ඇත. ඉන්දියාවේ ''ජගත්නාත්''නමින් අදහන්නේ විෂ්ණු දෙවියන්ගේම අවතාරයක්‌ බවත් ජගත්නාත් දෙවියන් පිළිබඳ පවතින ජනශ්‍රැති කතා සිරිලක උපුල්වන් දෙවියන් පිළිබඳව පවතින ජනශ්‍රැති කතාවලට බෙහෙවින් සමාන බවත් පෙනෙන්නට තිබේ.